2012-08-30

මිදි ගෙඩි තුන කළ අනවින




හෙදියක්‌ ලෙසින් සුවහසක්‌ වූ රෝගී ජීවිත සුවපත් කරන්නට නිරතුරු කැපවී සිටින දයාබර මවකට තම සිඟිති දියණිය තමා සේවය කරන රෝහලේදීම මළ සිරුරක්‌ සේ දකින්නට හැකි වුවහොත් ඇතිවන කම්පනය හා වේදනාව කෙතරම්ද? කෙතරම් අමිහිරි වුවද එවැන්නක්‌ සිදුව තිබේ. මේ එම කතාවයි.
කොස්‌ගම අරපන්ගම ගම්මානයම කඳුළින් නහවා පිපීගෙන එන රෝසමලක්‌ බඳු හත් හැවිරිදි ගිම්හානී සත්සරා නම් වූ සිඟිති දියණිය ආහාරයට ගත් මිදි ගෙඩි හිරවීමෙන් 26 දා මරණයට පත්වී තිබිණි.
මියගිය සිඟිති දියණියගේ මිත්තනිය -


මේ නැතිවෙලා ඉන්නේ මේ පවුලේ එකම දියණියයි. ඇයගේ වයස අවුරුදු 7 යි. අකරවිට මහා විද්‍යාලයේ ඉගෙන ගත්තා. එදා එයාගේ අම්මයි තාත්තයි දෙන්නම පොඩි දරුවට බේත් ගේන්න ගියා. මම මිදි ගෙඩි 3 ක්‌ හෝදලා දීල වාඩිවෙලා මේක කන්න පුතේ කියලා කුස්‌සිය පැත්තට ගියා. පුංචි අම්මලා දෙන්නත් දුව ළඟපාත හිටියා. ඒ දෙන්නා තමයි මිදි ගෙඩි හිරකර ගන්නවා ඉස්‌සර වෙලාම දැකලා කෑගැහැව්වේ.
කොච්චර උත්සාහ කළත් බේරගන්න බැරිවුණා. අවිස්‌සාවේල්ල ඉස්‌පිරිතාලෙට ගෙනියනකොටත් දුව නැතිවෙලා.
මේ මරණයත් සමගම දැඩි කම්පනයට පත්ව සිටින ගිම්හානීගේ මව මොනිකා ප්‍රියන්ති අවිස්‌සාවේල්ල මූලික රෝහලේ හෙදි නිලධාරිනියක සේ රැකියාව කරයි. පියා ජගත් කුමාර පොලිස්‌ නිලධාරියකු ලෙස මිරිහාන පොලිස්‌ ස්‌ථානයට අනුයුක්‌තව සේවය කරයි. මේ යුවළට එක්‌ සිඟිති පුතකු සිටිනා අතර අක්‌කාට සිදුවූ විපත ගැන කිසිම වැටහීමක්‌ නොමැතිව පවසන වදන් පැමිණ සිටින අයගේ දෙනෙතට කඳුළු එක්‌කරයි.
දරුවන්ට ඇති සෙනෙහස ආදරය නිසාම නොයෙකුත් දේ ලබා දුන්නද ඒ ආදරය නිසාම දරුවනට ජීවිතය අහිමි වූ අවස්‌ථා අනන්තවත් මේ සමාජය තුළ දකින්නට ඇත. ගිම්හානී සිඟිති දිණණියද මෙලොවින් සමුගෙන ඇත්තේ හෙට දිනයේ ඔබටද අපටද හිතන්නට යමක්‌ ඉතිරි කරමිනි.

No comments:

Post a Comment