2012-08-24

පැණි බීම බිව්වා විතරයි මට සිහි නැතිවුණා

ලක්‍ෂ ගාණක රත්‍රංවලට වෙච්ච දෙයක්‌ නෑ
මුහුදේ ගල් පර අතරේ හිර වී දිවි බේරාගත්- දිනේෂ් ෂර්මා කියයි


"කොල්ලුපිටියේදී හමු වූ තරුණයන් තිදෙනා කඩයකින් අරගත් පැණි බීම බෝතලයක්‌ මට බොන්න දුන්නා. ඒ බෝතලය බීවා විතරයි මට මතක. ගල් පර අස්‌සේ සීතල මුහුදු සුළං සමග මුහුදු වතුර ඇඟේ වදින නිසා මම වට පිට බැලුවා කොහේද ඉන්නේ කියලා. මා සමග සිටි විශ්වවිද්‍යාල මිතුරන් දෙදෙනාත් නැහැ. පැණි බීම දුන්න තරුණයනුත් නැහැ. රෑ තිස්‌සේ වරින්වර මම දැඟලුවා ගල් අතරින් උඩට එන්න. නමුත් වරින් වර මට සිහිය නැතිවුණා. මගේ ජීවිතේ වැඩිම කාලයක්‌ ගතවුණේ මුරුගන් (කතරගම) දෙවියන් උදෙසා. මට දැඩි විශ්වාසයක්‌ තිබුණ මුරුගන් දෙවියන් මගේ ජීවිතය බේරාගන්නා බව. මට මෙච්චර දෙයක්‌ වෙලත් මම බේරුණේ මුරුගන් දෙවියන්ගේ කරුණාව රැකවරණය මට ලැබුණු නිසයි."

ඉකුත් 18 වැනිදා සෙනසුරාදා කොල්ලුපිටිය මුහුදු තීරයේ මුළු රැයක්‌ පුරා ගල්පරයක සිර වී සිටි දිනේෂ් ෂර්මා තරුණයා "දිවයින"ට ඊයේ (23 දා) දහවල් එසේ පැවැසීය. ඉකුත් 19 වැනිදා දහවල් මෙම තරුණයා බේරා ගැනීමෙන් අනතුරුව කොල්ලුපිටිය පොලිසිය මැදිහත් වීමෙන් කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර කිරීම සඳහා ඇතුළත් කර තිබිණි.




ජාතික රෝහලේ 19 වැනි වාට්‌ටුවේ ප්‍රතිකාර ලබන විසිඑක්‌ හැවිරිදි දිනේෂ් ෂර්මා "දිවයින"ට මෙසේද පැවැසීය.

මගේ ගම තලවකැලේ. මම පුංචි කාලේ සිටම කෝවිල්වල වැඩ කළා. පසුගිය සතියේ කොම්පඤ්ඤවීදිය ශ්‍රී සිව සුබ්‍රමනියම් ස්‌වාමි කෝවිලේ තේරු රථ පෙරහැරට එක්‌ වුණා. මම ස්‌වාමි කෙනකු ලෙස පත්වීම් ලබාගත්ත කෙනෙක්‌. ස්‌වාමි ලෙස ලියාපදිංචි වූ පසුව හුණුපිටිය කෝවිලේ වැඩ කරනවා. 17 වැනිදා නිවාඩු දැම්මා. 18 දා සෙනසුරාදා තලවකැලේ යැම සඳහා දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට මගේ කාර් එකෙන් විශ්වවිද්‍යාල මිතුරන් දෙදෙනකු සමග කොල්ලුපිටියට ආවා. නමුත් ඒ වැඩේ කරගන්න බැරිවුණා."

"අපි කාර් එක ළඟට යද්දි තරුණයන් තිදෙනෙක්‌ හිනාවුණා. අපි සමග සුහදව කතා කළා. අපෙන් ඇහුවා බොමුද කියලා. ඒ අයට මම කීවා මම ස්‌වාමි කෙනෙක්‌. මම බොන්නේ නෑ. මගේ යාළුවන් කැම්පස්‌ එකේ. ඒ අය එක්‌ක බොන්න කියලා. ඊට පසුව අපි කොල්ලුපිටිය බාර් එකක්‌ ළඟට එක්‌ක ගියා. ඒ තුන්දෙනා තමයි වැඩිපුරම මුදල් වැය කළේ. මාරු සල්ලි නැහැ කියලා මගෙනුත් රුපියල් පන්සියයක්‌ ඉල්ලා ගත්තා. මම බොන්නැති නිසා මට පැණි බීම බෝතලයක්‌ ගත්තා."

"මම ඒ බෝතලය බිව්වා විතරයි මතක. ඊට පස්‌සේ සිදුවුණු කිසිම දෙයක්‌ මම දන්නැහැ. මා සමග සිටි මගේ යාළුවන් දෙන්නා ගැනත් මම දන්නේ නෑ. මට සිහිය එද්දි රාත්‍රි අටට විතර ඇති. මුහුදේ ගල් පර අතර හිරවෙලා ඉන්න බව දැනුණා. දැඟලුවා... දැඟලුවා... එන්න විදිහක්‌ ඇත්තේම නෑ. ආයෙත් සිහි නැතිවුණා. රාත්‍රි 10.00 ට විතර නැවත මට නින්ද ගියා. ගල්වලට හිරවෙලා සිදුවුණු තුවාලවලට මුහුදු වතුර ගෑවිලා දැවිල්ල ආවා. මට ඇත්තටම ජීවිතේ ගැන නම් බයක්‌ තිබුණේ නෑ. මම මුරුගන් දෙවියන් සිහි කළා. පසුවදා දවල් දොලහට විතර තමයි මාව බේරාගත්තේ. ගල් අතර හිරවෙලා මම අපමණ දුකක්‌ වින්දා. මගේ ජීවිතය මේ විදිහට බේරා දුන්න එකට දෙවියන්ට ස්‌තුති කරනවා.

මම පැළඳ සිටි ලක්‍ෂ ගණනක්‌ වටිනා රත්‍රන් ආභරණ කිසිවක්‌ මා ළඟ නෑ. මේ සිද්ධියෙන් පසුව ඒවා අහිමි වුණා. පොලිසියට මේ ගැන මම කීවේ නෑ. ඉදිරි පොලිස්‌ පරීක්‍ෂණ කටයුතු අවශ්‍ය නැති බව මම පොලිසියට දැනුම් දුන්නා. අම්මා - තාත්තා සහ මල්ලි කෙනෙක්‌ මට ඉන්නවා. මල්ලි විද්‍යා අංශයේ ඉගෙනීම ලබනවා.

මම තව එක දෙයක්‌ කියන්න ඕනි. දකින... දකින අය සමග එකපාරටම මිතුරුකම් පවත්වන්න යන්න එපා. විනෝදයට හරි කන බොන එක වුණත් විශ්වාසවන්ත අය සමග ඊට සුදුසු විශ්වාස ස්‌ථානයක කරන්න.

No comments:

Post a Comment