2012-08-19

බාගෙට අඳින චරිතයකින් මාව දකින්න බැහැ...


එදිනෙදා ජීවිතයේදී පිරිමි විලාසයෙන් හැසිරෙන ගැහැනු චරිත අපට ඕන තරම් හමුවෙනවා. එහෙත් ඒ හමුවීම පිළිබඳ අප කතා කරන්නේ ඒ මොහොතේදී පමණයි. නමුත් පුංචි තිරයේදී අප ආදරය කරන චරිතයක්‌ මේ දිනවල පිරිමියෙක්‌ ලෙසින් රඟපානවා නම් අපි ඒ ගැන කතා කරන්නේ ඉතාමත් ඕනෑකමින්. ඒ අයුරින් මේ දිනවල පුංචි තිරයේ පිරිමි වෙස්‌ ගෙන ජනමාධ්‍යවේදිනියක්‌ ලෙස රඟන ඉරේෂා රණසිංහ පසුගිය දිනක අපිට මුණගැසුණා.
කවදා ඉඳලද පිරිමි වෙස්‌ ගත්තේ?

මානවී ලෙසින් කැමරාව ඉදිරියට ආ මුල්ම දවසෙ ඉඳලා.

සැබෑ ජීවිතේ ඉරේෂාත් මානවීට සමානද?

අපෝ නැහැ. ජීවිතේ හැම ප්‍රශ්නෙකදීම ගැහැනියක්‌ විදිහට තමයි මුහුණ දෙන්නේ. හැබැයි කාට වුණත් මූණට දෙයක්‌ කියන්න තියෙනව නම් දෙපාරක්‌ හිතන්නේ නැහැ කෙලින්ම කියලා දානවා.

රංගනය විනෝදාංශයක්‌ කරගන්න පුළුවන්ද?

මම නිර්මාණයක්‌ භාරගත්තොත් ඒ චරිතය හොඳට ඔළුවට අරගෙන තමයි රඟපාන්නේ. එහෙම නැතිව කරන්නන් වාලේ නාට්‍ය ගොඩක්‌ බදාගෙන රඟපාන්නේ නැහැ.

ඔබේ රංගනයන් ගැන ඔබේ තීරණය කොහොමද?

මග තොටේදී මුණගැහෙන ප්‍රේක්‍ෂකයන්ගෙන් වගේම ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරු, රංගන ශිල්පීන් සහ මගේ වටේ ඉන්න පිරිසගෙන් අහන්න ලැබෙන පැසසුම් නිසයි මම කියන්නේ.



ඔබ දක්‍ෂ රංගන ශිල්පිනියක්‌ ද?
ජනප්‍රිය රංගන ශිල්පිනියක්‌ ද?

ඒක ප්‍රේක්‍ෂකයන්ගෙන් අහන්න ඕන ප්‍රශ්නයක්‌. ඒ නිසා මට හරි උත්තරයක්‌ දෙන්න බැහැ. මම හිතනවා ලැබෙන ප්‍රතිචාරවලින් යම් ජනප්‍රියත්වයක්‌ ලබනවා කියලා.

ඔබ සිතන විදිහට රංගන ශිල්පිනියක්‌ වෙන්න තිබිය යුතු සුදුසුකම් මොනවද?

චරිතයට සාධාරණයක්‌ ඉෂ්ඨ කරන සාර්ථක රංගනයක්‌ සුන්දර රූපයක්‌ තිබිය යුතුයි කියලා නම් මම විශ්වාස කරන්නේ නැහැ.

රංගන ශිල්පිනියක්‌ වෙන්න ලේසි ක්‍රම තියෙනවා කියන්නේ ඇත්තද?

දක්‍ෂතාවය, හැකියාව නැතිව ක්‍ෂේත්‍රයට ආපු අය ගැන මටත් අහන්න දකින්න ලැබිලා තියෙනවා. ඉන් එහා වැඩි විස්‌තරයක්‌ ගැන ඕප දූප කතා කරන කෙනෙක්‌ නෙමෙයි මම.

ජනප්‍රියත්වය පතාගෙන ද රඟපාන්න ආවේ?

කොහෙත්ම නැහැ. හිතේ තිබුණු ආසාව තමයි මේ තරම් දුර මාව ගෙනාවේ. අනික එහෙම දෙයක්‌ මම කවදාවත් බලාපොරොත්තු වුණේ නැහැ.

ඔබ අවංකව ද මෙහි රැඳෙන්නේ?

ඔව්. අවංකවමයි.

මවක්‌ නිසා එදාට වඩා අද චරිත ගැන සැලකිලිමත්ද?

එදා කියලා මම කවදාවත් අනවශ්‍ය දේවල් කරපු කෙනෙක්‌ නෙමෙයි. ආරම්භයේ සිටම තවමත් චරිතයවත් කැත නොකරගෙන තමයි මම මේ ගමන ආවේ. ඒ දේම අදටත් වලංගුයි. ඒ නිසා ලොකු වෙනසක්‌ නැහැ.

දැන් පෙම්වතියගේ චරිතයට සාධාරණයක්‌ ඉෂ්ඨ කළ හැකිද?

මගේ සීමාවන් තුළ රැඳුණු චරිතයක්‌ වුණොත් භාරගන්නවා.

මොනවද ඒ සීමාවන්?

පෙම්වතියගේ චරිතවල අමුතු රැල්ලක්‌ තියෙනවනේ. එවැනි අනවශ්‍ය හැඟීම් උද්ධීපනය වෙන බාගෙට ඇඳුම් ඇඳගත්ත පෙම්වතියගේ චරිතයක්‌ නම් කවදාවත් මගෙන් දකින්න ලැබෙන එකක්‌ නැහැ.

නමුත් නිළියක්‌ බොහෝවිට සමාජයේ කැපී පෙනෙන චරිතයක්‌ නේද?

සමහර නිර්මාණකරුවන් මාව චරිතවලට ගනිද්දී උත්සාහ කරනවා කොටට අන්ඳලා චරිත කරවන්න. නමුත් කිසිසේත්ම එවැනි චරිතයක්‌ මගෙන් නම් බලාපොරොත්තු වෙන්න බැහැ. අනික කැපී පෙනීමේ අවශ්‍යතාවක්‌ කිසිසේත්ම මට නැහැ.

රඟපාන්න ආවට මොකද රැඳී ඉන්න අමාරුයි නේද?

සමහර අයට නම් එහෙම තත්ත්වයක්‌ උදාවෙලා ඇති. නමුත් මට නම් එහෙම තත්ත්වයක්‌ උදාවෙලා නැහැ. අනික මගේ වටේ ඉන්න හැමෝම මම කවුද කියලා දන්නවා. ඒ නිසා බියක්‌ නැහැ.

Divaina.

No comments:

Post a Comment